සදහම් කතිකාව
දැන් බලන්ට විපස්සනා භාවනාව පටන් ගන්න කොට බුදුහාමුදුරුවො දේශනා කරනවා කොහොමද ඒක කරන්නෙ කියලා. විදර්ශනාවෙන් තමයි අපි සිත පිරිසිදු කරන්නෙ. නිවන් දකින්නෙ ඒකෙන්. බුදුවරු පහළ වෙන්නෙ ඒක කියන්ට. ඒක ඇත්ත. නමුත් විදර්ශනාවට යන්ට පුලූවන් කිසියම් පිළිවෙතක් බුදු හාමුදුරුවො කිව්වා. දැන් සිතේ ප්‍රභාශ්වරය නැත්නම් සිතේ බැබළෙන ශක්තිමත් ගතිය නැතිවෙලා නම් තියෙන්නෙ අර කියන පඤ්ච නීවරණවලින් මේ සිත වැහිල නම් මේ සිතේ ශක්තිය ප්‍රභාශ්වරය විනාශ වෙලා නම් තුරන් වෙලා නම් අපි කොහොම ද ඒ දුර්වල සිතින් අර වගේ ගැඹුරු දහමක් දකින්නෙ? අනිච්ච - දුක්ඛ - අනාත්ම දකින්නෙ කොහොමද? සතර සතිපට්ඨානය වඩන්නෙ කොහොමද? ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් ම මේ පඤ්ච නීවරණ යටපත් වෙන්ට ඕනෑ ම යි. සිතේ ප්‍රභාශ්වරය මතුවෙන්ට ඕනෑ ම යි. ඒකෙ කථා දෙකක් නෑ. සමථයෙන් තොර විදර්ශනාවක් නෑ.
බෞද්ධ නොවුණ අයත් දන් දෙනව නම් බෞද්ධයොත් දන් දෙනව නම් බෞද්ධයන්ගෙයි බෞද්ධ නොවන අයගෙ දන් දීමෙයි වෙනසක් තියෙන්ට ඕන. නැත්නම් මේ ආගම් දෙක ම එකයි. මේ සියලූ ආගම් එකයි. නමුත් එහෙම වෙන්ට බෑ. එක ම ශාස්තෘවරයා තමයි ලෝකයේ පහළ වෙච්ච ලෝකය අනිච්චයි, දුකයි, අනාත්මයි කියපු. අනික් සියලූ ශාස්තෘවරු කිව්වෙ ලෝකය නිත්‍යයි, සුඛයි, ආත්මයි කියල. නිත්‍ය, සුඛ, ආත්මම පැවැත්ම සඳහායි. දන් දෙන්නෙ ඒ ගොල්ලො. එතකොට අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන මේ ලෝකයෙන් මිදීම සඳහායි බෞද්ධයො දන්දෙන්නෙ. එතකොට අන්න එතනයි බෞද්ධ දානයේ තියෙන වෙනස. පැහැදිලි ද කියපු දේ? ප්‍රතිඵලයෙ අඩුවක් නෑ. අරකට වඩා ප්‍රතිඵල අර දිව්‍යලෝක සුගති සම්පත් බලාගෙන දෙන දානෙට වඩා මේ දානය පිරිසිදුයි. නැද්ද? ඔව්ද? පැහැදිලිව ම අලෝභ සිතින් දෙන්නෙ. අද්වේෂ සිතින්, අමෝහ සිතින් දෙන්නෙ. දිව්‍යලෝකෙ යන්ට දන් දෙන්නෙ අලෝභ සිතකින්ද? සුගති සම්පත් ප්‍රාර්ථනාවෙන් දන් දෙන මිනිහා අලෝභ සිතකින්ද දන් දෙන්නෙ, නෑ. ලෝභ සිතකින් දෙන්නෙ. එකනෙ මං කියන්නෙ මෙතන හරි වරදක් කරනව ඔක්කෝමල කියල. තේරෙනවද මං කියන දේ? එතන තියෙන්නෙ ගනුදෙනුවක්. එතන මට සැකයක් හිතෙනව මෙතන ඔය කියන දේවල් ලැඛෙයිද කියල. ඇයි? ලෝභ සිතක්නෙ තියෙන්නෙ. ඉතින් ලෝභය අකුසලයක් නෙ. චුට්ටක් මේක හරි සියුම්ව හිතන්න ඕන. මේ බොහෝ දේවල්.
නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනා මුල් කරගෙන තමයි අපි දන් දෙන්න ඕන.
ආන්ඩුව සහ බුද්ධ දේශනාව යන මැයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රනයේදී අතිපූජනීය මහනුවර වජිරබුද්දි හිමියන් විසින් කරන ලද දේශනය ඇසුරින් රාවය පුවත්පතේ පලකරන ලද සංක්ෂිප්ත සටහන
බුද්ධාගම බිහිවීම පිළිබඳව කෙටි හැඳින්වීමක් ප‍්‍ර ථ ම යෙන් කරන්නම්. මෙය කිසිසේත්ම ආගමක් නෙවෙයි. මේ වෙද්දී ආගමක් වෙලා තිබුණත්. සිද්ධාර්ථ ජීවත් වුණ කාලයේත් සමහරු සූර්යයාට වැන්දා, තවත් සමහරු චන්ද්‍රයාට වැන්දා, තවත් සමහරු ගස්කොළන්වලට වැන්දා. විවිධ පුද්ගලයන් සරණ ගියා. ඒවා ප‍්‍රතික්ෂේප කරමින් තමා බුද්ධ ධර්මය නිර්මාණය වෙන්නේ. සිද්ධාර්ථ කියන්නේ නිකන්ම නිකන් කම්සැප වින්ද කෙනෙක් නෙවෙයි. ඔහුට මාලිගා තුනක් තිබුණු බව කියනවා. සියලූ සම්පත් තිබුණා. කැමති විදියට පරිහරණය කරන්න සුරූපී කන්‍යාවන් හිටියා. සිද්ධාර්ථ ගිහිගෙයි කලකිරිලා ගියා කීවාම ප‍්‍රශ්නයක් මතුවෙනවා කොහොමද කලකිරෙන්නේ කියලා. විචාරාත්මකව කල්පනා කරලා බැලූවාම පේනවා ඔහු කලකිරුණේ නෑ කියලා. ඔහු හිතුවේ මේ සැප හැමදාම විඳින්නේ කොහොමද කියලා. මහලූ වුණොත්, ලෙඩ වුණොත් තරුණකම, නිරෝගීභාවය නැති වුණොත් කම්සැප විඳින්න බැරි වෙනවා. මම හිතන්නෑ සිද්ධාර්ථ කාමභෝගී කුමාරයාට සසරින් එතෙර වීම වගේ දෙයක් ඒ වෙලාවේ හිතන්න පුළුවන්කම තිබුණා කියලා. ඔහු ඒ කාලයේ සිටි තවුසන් ළඟට ගිහින් ඔවුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කරලා, ප‍්‍රගුණ කරලා අවසානයේ තනියම භාවනා කරනවා. අපි ප‍්‍රශ්නෙකට උත්තරය හොයන්නේ එළියෙන්. බාහිර බලවේගවලින්. ආගම කියන්නේ ඒකයි. ඒත් සිද්ධාර්ථ උත්තර හෙව්වේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. දැන් බෞද්ධයන් පවා උත්තර හොයන්නේ බාහිරින්. අවසානයේ ඔහු දැක්කා මහලූවීමෙන් ලෙඩවීමෙන් ගැලවෙන්න බැහැ, අපි හිතන දේවල් ලැබෙන්නේ නැහැ කියලා.
ඇස්දෙක පියාගෙන පලක් බැඳගෙන කිසිවක් නොකර හිටියා. එතකොට මොකක්ද මේ ශරීරය කරන්නේ? හුස්ම ගන්නා එක පමණයි. ඒකට හිත යොමුකළා. හිත වැඩකරන ආකාරය දෙසට අවධානය යොමු කළා. හිත එකඟ වෙන්නේ ඉන්පස්සේ. හිත පිරිසිදු වෙනවා කියලා කියමු. ඊට පස්සේ ඔහුට පේනවා ආයතන හයක් පිනවන්න තියෙන ආසාව නිසා හිත ක‍්‍රියාත්මක වෙන හැටි. මේ සිතුවිලි පහළවීම වේගයෙන් සිද්ධවෙන නිසා අපට එකින් එක අල්ලාගන්න බැහැ. ගිනිබෝලයක් කරකවද්දී අපට පේන්නේ වළල්ලක් වගේ. ඒත් ඇත්තටම කරකැවෙන්නේ පන්දමක් විතරයි. ඒ වගේ විඥානයත් වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඇස පිනවන්න තියෙන ආසාව නිසා රූපය හොයාගෙන යෑම හෙවත් කාමච්ඡුන්දය, කන පිනවන්න තියෙන ආසාව නිසා ප‍්‍රිය ශබ්ද හොයාගෙන යෑම හෙවත් ව්‍යාපාදය ආදි වශයෙන් ඔහු ආශාවන් හඳුනාගන්නවා. ඒ තුළින් විඥානය හටගන්නවා. මේවා තුළ හේතුඵලවාදය ඔහු තේරුම් ගන්නවා. කෙටියෙන් බෞද්ධ ධර්මය ඇතිවුණ හැටිත් එහි ස්වභාවයත් පැහැදිලි කළේ වත්මන් සමාජය ගැන කතාකරන්න ප‍්‍රවේශයක් විදියට.
බුදුන්වහන්සේ කීවේ අනිත්‍යය පිළිබඳ ධර්මයක් විතරක් නෙවෙයි. මරණින් පස්සේ නෙවෙයි ජීවත් වෙද්දී සැප විඳින විදියත් කියලා දුන්නා. කාමය සැපයක් කියලා බුදුහාමුදුරුවෝ කීවේ. අපි මේවා හොයාගෙන යන්නේ සැප නිසා තමයි. බුදුහාමුදුරුවෝ කීවේ මේවා සැපයි නමුත් අනිත්‍යයි කියලා. අනිත්‍ය ස්වභාවය තමයි දුක වෙන්නේ. ඉතින් ඒක අවබෝධ කරගන්නා මොහොතේදී කෙනෙක් නිර්වාණය ලබනවා කියලා දේශනා කළා. ජීවිතයට සප්ත අපරිහාණිය ධර්ම වගේ විවිධ පෙන්වාදීම් කළා. අවබෝධයෙන් යුතුව අනෙකාට හානියක් නොවී සැප විඳින ආකාරය පෙන්වුවා. අපි බලන්න ඕනෑ දැන් ඒ පෙන්වාදීම් අනුව කවුරුත් ජීවත්වෙනවාද කියලා. සියලූ දේ මගේ කියලා අල්ලා ගන්න ආත්මාර්ථකාමීත්වය තමයි බුදුන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළේ. අපි යුද්ධ කරන්නේ ගහමරාගන්නේ මේ දේවල් මගේ කියලා අල්ලාගත්ත නිසා. ආගමික වශයෙනුත් සංස්ථා හදාගෙන ඒවා තමන්ගේ කියලා අල්ලාගෙන භේදභින්න වෙලා යුද්ධ ඇති කරගන්න එක බුද්ධ දර්ශනය වෙන්න බැහැ.
බුදුන්වහන්සේ ඉගැන්වූ දහම තේරුම් අරන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන දේවල් අවබෝධ කරගත්ත අයට තවදුරටත් සමාජයේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා තමයි ඒ අය සමාජයෙන් වෙන්වෙලා හිස බූ ගාලා සිවුරක් ඇඳගත්තේ. භික්ෂු කියන්නේ ඒ අයට. මේ තට්ටෙවත් රෙද්දේවත් මොනවත් නැහැ. මේක විලිවසාගන්නත්, සීතලෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නත් පොරවාගත්ත රෙද්දක් විතරයි.
බුදුන්වහන්සේගේ ධර්මයට ඒ කාලේ සමාජයේ පිළිගැනීමක් එක්වරම ලැබුණා. සිවුර පොරවාගෙන පන්සලට වෙලා හිටියාම රජවරු සිටුවරු ඇවිත් පහසුකම් දෙනවා. මේක හරි ලේසි ජීවන මාර්ගයක් වුණා. සිවුර පොරවාගත්තු බොරු කාරයෝ වැඩි වුණා. මෙහෙම අවුරුදු කිහිපයක් යනකොට අර ඇත්තටම ධර්මය හොයාගෙන යන අයටත් වධයක් වන තරමට දුස්සීල භික්ෂූන් වැඩි වුණා. එහෙත් බුදුන් වහන්සේට සිවුරු පොරවාගත් අයට සිවුරු ඉවත් කරන්න කියලා කියන්න බැහැ. ඒ නිසා නරක භික්ෂූන්ගෙන් හොඳ භික්ෂූන් අඳුනගන්න අවුරුදු විස්සකට පස්සේ පාතිමොක්ඛය කියලා දේශනයක් කරලා භික්ෂුව කවුදැයි කියලා අඳුන්වා දුන්නා. දැන් ශික්ෂාපද විස්සක් කියලා තියෙන්නේ ඒවා. මේ නීති පනවනවා කියලා තියෙන්නේ අවුරුදු විස්සකට පස්සේ දේශනා කළ පසුකාලීන දේවල්. බුද්ධ ධර්මය කියන්නේ මේ මොනවත් නෙවෙයි චතුරාර්ය සත්‍යය විතරයි. කොණ්ඩඤ්ඤ බමුණා සෝවාන් වුණේ දම්සක් පැවතුම් සූත‍්‍රය විතරක් අහලා. අනාත්ම ලක්ඛණ සූත‍්‍රය කියද්දී පස්වග තවුසෝ රහත් වුණා. ඒ වෙද්දී සූත‍්‍ර පිටකයක්, විනය පිටකයක්, අභිධර්ම පිටකයක් නැහැ.
බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් කාලයකට පස්සේ නැවත පාතිමොක්ඛය කියන දේශනාව කරලා ඉවර වෙලා වඩා අත්දැකීම් තියෙන ධර්මාවබෝධය තියෙන භික්ෂූන් මෙය පවත්වාගෙන යා යුතුයි කියලා එකඟ වුණා. ඒකට ථෙරවාදී සම්ප‍්‍රදාය කියලා කියනවා. අද ථෙරවාදී සම්ප‍්‍රදාය කියලා ධර්ම ගවේෂණයක් නෙවෙයි තියෙන්නේ. අද හොයන්න වෙනවා ථෙරවාදී සම්ප‍්‍රදාය තියෙන්නේ කොහේද කියලා.
මහාවංශයේ මොනවා තිබුණත් බුදුන් වහන්සේගේ කාලයේම ලංකාවට බුදුදහම ඇවිත් යම්කිසි දුරකට තිබුණා. ලංකාවට අද තියෙන බුදුදහම එන්නේ ක‍්‍රි.පූ. තුන්වන සියවසේ. ඒක ඇත්තටම බුද්ධාගමට වඩා අශෝක ධර්මය කියලා කියන්න පුළුවන්. අශෝක රජ්ජුරුවෝ රජවුණාට පස්සේ. අශෝක රජතුමා ගොඩක් යුද්ධ කළ කෙනෙක්. ඉතින් තමන්ට තියෙන විවිධ අභියෝගවලින් ආරක්ෂා වෙලා යුද්ධ කරලා දිනාගත්ත විශාල භූමියේ රාජ්‍යත්වය ස්ථාවර කරගන්න තමයි බුද්ධාගම යොදාගත්තේ. අශෝක ඇත්තටම රජවරුන්ට සමීප ස්වාමීන් වහන්සේලා එක්ක ආගමික රාජ්‍යය සංකල්පගත කරලා අලූත් ආගමික සම්ප‍්‍රදායක් හැදුවා. භික්ෂූන්ට පන්සල් හදලා දුන්නා. රට ඇතුළේ රාජ්‍යත්වය ස්ථාපිත වුණාම අසල්වැසි රාජ්‍යය තමන්ට නතු කරගන්න වගේම ආක‍්‍රමණවලට නොපෙළ ඹෙන තත්ත්වයක් ඇති කරගන්න අවශ්‍ය වුණා. ඒකට ඔහු යෙදුව උපක‍්‍රමය තමයි ධර්මය ප‍්‍රචාරණය කියලා හැඳින්වුණේ. ලංකාවට අරන් ආවේ මිහිඳු හාමුදුරුවෝ. ඒ ගෙනාවේ අශෝක දහම. අශෝක තමන්ගේ බලය බුද්ධාගම එක්ක පිහිටුවපු හැටි මහාවංශයේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා.
මිහිඳු අශෝක දහම ගෙනල්ලා තිස්සට තමයි තිස්ස තිස්ස කියලා කතාකරන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ තමන්ගේ ධර්මය මුලින්ම රජ පවුල්වලට දේශනා කළේ නැහැ. රාජ්‍යාගම කියන බුදුන්ගේ නොවන සංකල්පය එන්නේ එතැනින්. ඊට පස්සේ තමයි රජගෙදර ළඟින් මහමෙව්නාව හදලා දීලා මහාවිහාරය හදලා දීලා මහානායකලා ඇති කරගෙන මේක රාජ්‍යත්වය එක්ක දිවෙන සංස්ථාවක් බවට පත්කෙරෙන්නේ. මේ සංස්ථාව හැඳින්වූවා ථෙරවාදී සම්ප‍්‍රදාය කියලා. මේක නිර්මල ථෙරවාදී ධර්මය කියලා හඳුන්වාගත්තා. රජ්ජුරුවෝ මේ අයට නීති හදලා දුන්නා.
දැන් වෙලා තියෙන්නේ මේගොල්ලන්ට මේක ගෙනියන්න බැහැ. මොකද මෙයාලා ගාව දහම නැහැ. රජවරු ආගමික ස්වභාවයක් පෙන්වීම සාමාන්‍ය දෙයක්. රජවරු බලය වෙනුවෙන් ආගමට නැඹුරුවක් පෙන්වනවා. ඒත් කිසිම රාජ්‍යයකට ආගමික වෙන්න බැහැ. රාජ්‍යත්වය කියන්නේම හිංසාව. රාජ්‍යත්වය කියන්නේ නීතිය. අද වෙනකොට දේශපාලකයෝ මාධ්‍ය පිරිවරාගෙන මහානායකලා ළඟට ගිහින් ඉල්ලනවා අපට අහවල් දේ කරගන්න බෑ ඔබවහන්සේ බලලා උපදෙස් දෙන්න කියලා. දේශපාලකයෝ පත්කරලා තියෙන්නේ රට හදන්න. හාමුදුරුවරු ගිහින් ඉල්ලනවා, අපට අපේ හාමුදුරුවරු පාලනය කරගන්න බෑ, නීති හදලා දෙන්න කියලා. දැන් කතිකාව කියලා එකක් එන්නේ ඒකට අනුව. ථෙරවාදී බුද්ධාගම කියලා එකක් තියෙනවා. ඒකේ නිකායවල් ගොඩක් තියෙනවා. ඒ එක් එක් නිකායවලට පාර්ලි මේන්තුවේ පනතකින් බලය දෙනවා. මහානායකලා නඩු අහලා තීන්දු දෙනවා. ඒ තීන්දුවලට ආණ්ඩුවෙන් සීල් එක දෙනවා. ඊයේ පෙරේදා අපි දැක්කා එක්තරා භික්ෂුන් පිරිසක් අධිකරණයට ගිහින් හැසිරුණ විදිය. කිසිම ශීලාචාර සමාජයක් ඒක අනුමත කරන්නේ නැහැ. භික්ෂුවකට රටේ නීතියකට ගරු කරන්න බැරි නම් බුද්ධ නීතියට ගරු කරන්න කොහොමත් බැහැ. ඊට පස්සේ එක්තරා මහානායක හිමිනමක් මේ දුස්සීල භික්ෂුව ගැන පුංචි ළමයෙක් පුංචි වැරැුද්දක් කළාම හුරතල් කරනවා වගේ එයාව සාධාරණීකරණය කරමින් කතා කළ හැටි. මෙවැනි ආයතනවලටද නඩු අහන්න බලය දෙන්නේ?
අනිත් පැත්තෙන් ප‍්‍රශ්නය වෙන්නේ ඒ අයට මහානායකලා වෙන්න පුළුවන්ද කියන එක. බුදුන් වහන්සේගේ කාලයේදී දේවදත්ත කියන භික්ෂුව ගිහින් නායකත්වය ඉල්ලූවා. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ මමවත් මේ අයගේ නායකයා නෙවෙයි, ධර්මය තමයි නායකත්වය දරන්නේ කියලා. අවසන් මොහොතේ ආනන්ද හිමියන් දුක් වෙනකොට බුදුහාමුදුරුවෝ කීවා, කාටවත් නායකත්වය නොදී ධර්මය ගුරු තනතුරෙහි තියාගන්න කියලා. එතකොට දැන් මහානායකලා කියලා ඉන්න හැමෝම අර දේවදත්ත භික්ෂුවගේ පරම්පරාවේ අය.
දැන් ධර්මය කියලා තියෙන්නේ පිළිම වඳින ගෝත‍්‍රික දහමක්. මුලින් ධර්මය මුඛ පරම්පරාවෙන් කටපාඩම් කරගෙන එන්න පිරිත් නිතර සජ්ජායනා කළා. පිරිත කියන්නේ සෙත් ශාන්තියක් නෙවෙයි. මේක හේතුඵල දහමක්. පිරිත් නූල කියලා දෙයකුත් බුද්ධ ධර්මයේ නැහැ. අනිත් අය නුගගහට තල්ගහට වඳිද්දී මේ අය බෝගහට වැන්දා. ධර්මයේ මේවා පැහැදිලිව ප‍්‍රතික්ෂේප කරනවා. දැන් කියනවා, රතන සූත‍්‍රය කියලා විසාලා නුවර පිරිත් පැන් ඉහළා තුන්බිය නැති කළ කතාවක්. බුදුහාමුදුරුවෝ කියන්නේ 'තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයං' කියලා. තණ්හාව නිසයි බිය හටගන්නේ. රතන සූත‍්‍රයෙන් නෙවෙයි භය නැතිවෙන්නේ. තණ්හාව නැතිකරගැනීමෙනුයි භය නැතිවෙන්නේ. කරණීය මෙත්ත සූත‍්‍රය කිව්වාම යළි මව්කුසකට එන්නේ නැහැ කියනවා. එතකොට සතර සතිපට්ඨානය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවශ්‍ය නැහැ. මංගල සූත‍්‍රයේදී දේව සංකල්පය ගේනවා. මේ තුන තමයි තුන්සූත‍්‍රය කියලා අරගෙන උදේ හවස කියන්නේ. මේවා ඇහුවාම දුක නැතිවෙලා සුඛ ජීවිතයක් ලැබෙනවා කියලා හාමුදුරුවරු කියනවා. මේක බුද්ධ ධර්මය නෙවෙයි.
නීති සම්මත කරලා ධර්මය හොයන්න ගියොත් හෙට මේකේ ඉතිරි වෙලා තියෙන ටිකත් නැතිවෙලා යනවා. මේ නීතිය අද සම්මත වුණොත් හෙට මාව අත්අඩංගුවට අරන් දඩයක් ගහලා සිවුර ගලවලා දාවි. මම සල්ලි අල්ලන්නේ නැති නිසා දඩය ගෙවන්න බැහැ. ඉතින් සිවුර වෙනුවට ජම්පරය ඇඳගෙන හිරේ යන්න සිද්ධ වෙයි. මට මීට කලිනුත් අත්අඩංගුවේ ඉන්න සිද්ධවුණා. අද වෙනකොට මට තියෙනවා නඩු හතරක්. එකක් තියෙනවා අන්‍යයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම කියලා. අද වෙනතුරු කවුද අන්‍යයා කියන එකවත් කරපු වංචාව මොකක්ද කියන එකවත් පැහැදිලි කරලා නැහැ. නඩුවාර හතරක් ගියාම චෝදනා පත‍්‍රයක් එනවා විහාරදේවාලගම් පනතේ වගන්තියක් කඩකරලා කියලා. මොකක්ද මම කඩකරලා තියෙන්නේ, මම පනත යටතේ භික්ෂුවක් වශයෙන් ලියාපදිංචි වෙලා නැහැ කියලා. මට භික්ෂු හැඳුනුම්පතක් ගන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. හැඳුනුම්පතක් ගන්න නම් ලියාපදිංචි සහතිකයක් ගේන්න ඕනෑ භික්ෂුවක් වුණ බවට. ඒකට මම යන්න ඕනෑ දැන් තියෙන අර ¥ෂිත සංඝ සංස්ථාවට. පන්සල්වලට. මම 1990 දී මේ ගවේෂණය පටන්ගත්තේ. ගිහියෙක් වශයෙන් අවුරුදු දහයක් භාවනාව පුහුණු කළා. ඉන්පස්සේ අවුරුදු පහළොවක් භික්ෂුවක් වශයෙන් කටයුතු කළා. මම පන්සල් කියන සංස්ථාව ඇතුළට යන්න උත්සාහ කළේ නැහැ.
මහනුවර දළදා මාලිගාව ළඟ ඉස්කෝලේ ගිය මිනිහෙක් මම. පන්සල් යන්න හෝ කාටවත් වඳින්න මම උත්සාහ කළේ නැහැ. ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වෙනකන් බුද්ධාගම ඉගැන්වුවා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම කියලා ඉගැන්වුවාම මොකක්ද නිවැරදි දැකීම කියලා ඇහුවා. ඒකට කොහෙන්වත් උත්තර තිබුණේ නැහැ. මේවා හංගලා ගිහින් තියෙන්නේ. කැලේට ගිහින් බැලූවා ධර්මය ගැන තියෙන්නේ මොකක්ද කියලා. අපි කැම්පස් එකේ ඉගෙනගත්තේ ලෙනින්ලා, ප්ලේටෝලා, කාල්මාක්ස්ලා, සොක‍්‍රටීස්ලා ගැන. ඒ අය ගැන වගේම මේක ගැනත් හොයන්න ඇතිවුණ කුතුහලයක් අපට තිබුණේ. මම බැලූවේ මේක දුකයි කියන තැනින් නෙවෙයි. මොකක්ද මේ දුකයි කියලා බුදුහාමුදුරුවෝ කීවේ කියන එක. එක්කෝ බුදුහාමුදුරුවන්ට පිස්සු, නැතිනම් අපට පිස්සු කියලායි අපි හිතුවේ. ඒකත් එක්ක හොයාගෙන ගිහින් තමයි බුදුදහම කියන එක අවබෝධ කරගත්තේ. ඉන්පසුවයි භික්ෂු වේශයට පත්වුණේ.
අද ඉන්නේ දේවදත්ත පරපුරේ නායකයෝ. නිවැරදි බුදුදහම මොකක්ද කියලා සංවාදයක් කෙරෙන්න ඕනෑ. මම මේවා කියන්නේ ඇත්තටම බුද්ධ දේශනාව එක්ක ගනුදෙනු කරන වනගතව ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය මේ වගේ ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. මේ අයට දැන් පන්සල්වල ඉන්න අය බයයි. ගල්ලෙන් හොයාගෙන ආහාර නැතිව, පොරවන්න සිවුරු නැතිව කඩමාලූ පොරවගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඒකත් බුද්ධ ශාසනය. අනිත් බුද්ධ ශාසනය තුළ නගරයේ පන්සල්, ගමේ පන්සල්, කැලේ පන්සල් කියලා පන්සල් තුනක් තියෙනවා. කැලේ පන්සලේ අය වළඳිනවා, නමඳිනවා, අමදිනවා. ගමේ පන්සල කඨින පිංකම්, පොඩි පෙරහැරක් සංවිධානය කරගෙන ඉන්නවා, නගරයේ පන්සල තවත් දෙයක් කරනවා. මේ අය කරන කිසිදෙයක් බුදුන් කීව දේවල් නෙවෙයි
තරිඳු උඩුවරගෙදර
රාවය - 2016.02.28